ටී. එම්. ජී. චන්ද්‍රසේකර: මර්වින් සිල්වාගෙන් ගුටි කෑ අහිංසකයාගේ වර්තමාන කතාව

main8pic42007 දෙසැම්බර් මාසයේ දිනෙක, තමන් මෙරට බුදුන්ට පමණක් දෙවැනි මිනිසාය සිතා සිටින මර්වින් සිල්වා නම් මැරයා, තම තග් සහචරයන්ද කැටුව රූපවාහිනි සංස්ථා ගොඩ නැඟිල්ලට කඩා වදින්නේය. ඒ ඉන් පෙර දිනයෙහි ඔහු මාතරදී මංගල සමරවීරයන්ගේ මෑණියන් ගැන කී කුණු කතාවක් රූපවාහිනියෙහි ප්‍රචාරය නොකළැයි කේන්තියෙනි. විනය හා හැදියාව ගැන නිතර පොර ටෝක් දෙන කුරක්කන් රජ්ජුරුවන්ද මුල්පෙළෙහි තියාගෙන, මර්වින් සිල්වා කරන මේ ප්‍රකාශය මේ රටේ රජයේ මාධ්‍යයකින් පවා ප්‍රචාරය නොකළ හැකි අන්දමේ, ඔහුටම අපූරුවට ගැළපෙන වනචර කතාවකි.

මේ ඓතිහාසික රූපවාහිනි ගමනේදී මර්වින් සිල්වා හා ඔහුගේ තගයෝ රූපවාහිණියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම් ජී. චන්ද්‍රසේකරට පහර දෙති. මර්වින් සිල්වා, චන්ද්‍රසේකර කමිස කොලරයෙන් ඇදගෙන සභාපතිවරයාගේ කාමරයට ඇද ගෙන යන්නට තැත්කරන මුත් ඒ උත්සාහය අසාර්ථක වේ. මේ අතර තම සගයාට නිරපරාදේ පහර දෙනු දකින රූපවාහිනී සේවකයෝ මර්වින් සිල්වාට අමතක නොවන පාඩමක් උගන්වති. තම ජීවිතයේ ප්‍රථම හා විශාලතම පරාජය මර්වින් සිල්වා ලබන්නේ එදිනය. හිසින් ලේ පෙරාගෙන, රෝස පැහැති තීන්ත නා ඔහු සංස්ථා භූමියෙන් පිට වන්නේ තෙමිච්ච කුකුළකු ලෙසිනි.

මින් සති කිහිපයකට පසු වරින් වර රූපවාහිනී සේවක පිරිසට මැර ප්‍රහාර එල්ල වේ. ඒවා පිටුපස සිටින්නේ කවරකුදැයි කිසිවකුට රහසක් නොවේ. අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මේ සිද්ධි මාලාව නතර වේ. අරුමයකි. කිසිදු වරදකරුවෙක් දඬුවම් නොලබති. ඒ කුරක්කන් රජ්ජුරුවන්ගේ විජිතයේ නීතියය.

ඒ අතීත කතාවය.

වර්තමාන කතාව මීට වඩා ශෝචනීයය. මර්වින් සිල්වාගේ මැර ක්‍රියාවට සැබැවින්ම දඬුවම් ලබන්නේ ඒ අවාසනාවන්ත සිද්ධියට මැදි වූ අහිංසකයාමය. සිද්ධිය වන අවස්ථාවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩිවී සිටි ටී. එම්. ජී. චන්ද්‍රසේකර මේ වන විට කාර්ය භාරයක් නැති නිලධරයකුගේ තත්ත්වයට ඇද දමා ඇත. ඔහු Eye චැනලයට මාරුකර යවා ඇති එකම නිලධරයා වේ. එහි ඔහුට කරන්නට යමක් නැත. වරෙක ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරුවකු වූ චන්ද්‍රසේකර දැන් උදෑසන වැඩට පැමිණ පොත අස්සන් කොට නැවත සවස පොත අස්සන් කර ගෙදර යයි. ඔහුට වැටුප් ලැබෙතත් කරන්නට වැඩක් නැත.

මෙය ටී. එම්. ජී. චන්ද්‍රසේකරට පමණක් සීමාවූ දඬුවමක් නොවේ. මර්වින් සිල්වා සිද්ධියට සම්බන්ධ හැම කෙනකුටම මෙවන් දඬුවම් මාරු ලබා දී ඇත. ඒ ඔවුන්ගේ හැකියාවට කිසිසේත් නොගැළපෙන අංශ වලටය. මූල්‍ය අංශයේ නිලධරයන් පරිපාලන අංශයට මාරුකර යවා ඇත. ගණකාධිවරයකු පර්යේෂණ අංශයට යවා තිබේ. මේ කිසිම කෙනකුට තම නව පදවි යටතේ රූපවාහිනියට හෝ රටට කළ හැකි සේවාවක් නැත. එක අතකින් එය ඔවුන්ගේ කාලය වැනසීමකි. අනෙක් අතින් රටේ ජාතික ධනය වැනසීමකි.

රටේ මාධ්‍ය සියල්ලක්ම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නිර්ලජ්ජි ලෙස යොදා ගත යුතුය සිතන මෝඩ නායකයකු යටතේ මේවා සිදුවීම එක අතකින් පුදුමයට කාරණාවක්ද නොවේ. එය මේ කාලකණ්ණි පාලන තන්ත්‍රයේ තවත් අවාසනාවන්ත පැතිකඩක් පමණය.

SRI LANKA-MEDIA-KIDNAP-RESCUE