ශ්‍රී ලංකාවේ අලි වංශය

ශ්‍රී ලංකාවේ අලි සම්බන්ධ ඉතිහාසය බොහෝ ඈතට විහිද යයි. විශේෂයෙන් ලංකාවේ සමාජ ඉතිහාසය පිළිබද තොරතුරු හමුවන ආදි යක්ෂ දේව හා නාග ගෝත්‍ර පිළිබදව ඇති විවිධ කතාවලදීත් අතීත පුරාකතාවලදීත් අලි ඇතුන් පිළිබද තොරතුරු හමුවෙයි. ඊට අමතර ව අප රටතුළ ඇති ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෙන් චිත්‍රවලදීත් අලි ඇතුන් පිළිබද සිතුවම් හමුවීමෙන් පෙනෙන්නේ එකල පවා මිනිසුන් අලින් හා සම්බන්ධ කටයුතුවලට සමීපතාවක් දැක් වූ බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ අලින් පිළිබදව ක්‍රිස්තු පූර්ව 5000 පමණ ඈත කාලයේ සිට වාර්තාවන බව පෙනී යයි.

Elllllffffff%20(1)

අලි හා මිනිසුන් අතර සම්බන්ධය පවත්වා ගැනීමට අලි අල්ලා හීලෑ කරගැනීම දිගින් දිගටම සිදු වී තිබේ. අලි ඇල්ලීමට විවිධ ක්‍රම උපයෝගිකරගනිමින් ඔවුන් තම අත්අඩංගුවට ගැනීමට මිනිසුන් කටයුතු කර ඇත. ඇතැම් විට මිනිසුන් කණ්ඩායම් ලෙස කැළෑ වැදී උගුල් අටවමින් අති ඇල්ලු ආකාරය ද තවත් අවස්ථාවල දේශීය වෛද්‍ය ක්‍රම භාවිතයට ගනිමින් අලින් මත් කරවා අල්ලා ගත් බව ද සදහන් වෙයි. මේ හැරුණු විට හීලෑ අලින් හා ඇතුන් සමග ඇතින්නියන් කැළෑවට රැගෙන ගොස් ඔවුන් යොදා ගනිමින් වල් වැදුණූ අලින් කොටුකර ගත් අතර ඔවුන්ට විලංගු ලා දින ගණන් නිරාහාරව තබන අතර ඉන් අනතුරුව ඔවුන් මිනිසුන්ගේ අත් අඩංගුවට පත් කරගන්නා ලද බව සදහන් වෙයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ විවිධ රජවරුන්ගේ කාල වකවානුවලදී අලින් හා ඇතුන් රාජ්‍ය සේවයේ කටයුතුවලට ද යොදාගෙන ඇත. විශේෂයෙන් ඒ එ ් රජුන් සතු වූ චතුරංගනී සේනාවට අලි හා ඇත්තු අයත් වූහ. ඇත්, අස්, රිය හා පා බල යනුවෙන් එකී චතුරංගනී සේනා හැඳින් වූ අතර එහි සුවිශේෂී කාර්යයක් අලි හා ඇතුන්ට බාර විය.

අපගේ පැරණි සාහිත්‍ය කෘතීන්වල එබඳු තොරතුරු රැසක් හමුවෙයි. පන්සිය පණස් ජාතක පොතේ කුස ජාතකයෙදී සත් රජුන්ගේ සේනා ආක්‍රමණය කරන අවස්ථාවේ දී අලි ඇතුන් සිටි බවත් බුත්සරණ නම් වූ පොළොන්නරු සමයේ රචිත කෘතියේ නාලාගිරි දමනයේ නාලාගිරි ඇතා බීමතින් බුදුරදුන් වෙත පැමිණි ආකාරයත් සදහන් වෙයි.

ක්‍රීස්තු පූර්ව 2 සියවසේ දී අනුරාධපුරයේ එළාර රජුගේ ආරක්ෂක බලකොටු නැසීමට දුටුගැමුණු කුමරු ‘කඩොල්’ නම් වූ ඇතකු රාජ්‍ය සේවයට යොදා ගත් බව මහාවංශය ඇතුළු කෘතීන් කිහිපයකම ලියැවී තිබේ. මේ ‘කඩොල්’ හෙවත් ‘කණ්ඩුල’ ඇතු කාවන්තිස්ස රජුගේ ඇත් සේනාවේ සිටි බව ද රජු මිය ගිය පසු එතුමාගේ ආරක්ෂකයෝ දුටුගැමුණු කුමරු සොයා මලය රටට ගිය ගමනේ දී කඩොල් ඇතා කොත්මලේ පුසුල්පිටිය විහාරය දක්වා රැගෙන ගොස් ගැමුණු කුමරු ඇතුගේ කර පිටින් මාගමට කැදවාගෙන ගිය පුවතක් ඓතිහාසික ලේබනවල දැක්වෙයි. ක්‍රිස්තු පූර්ව 3 සියවසේ පමණ සිට රජුගේ කටයුතුවලට සම්බන්ධ අලියා හෝ ඇතා හැඳින්වූයේ ‘මංගල හස්තියා’ හෙවත් ‘මඟුල් ඇතා ‘යනුවෙනි. කුස ජාතකයෙදී රජුගේ ඇතා සිටින ස්ථානය හඳුන්වන්නේ ‘ඇත්හල’ හැටියට යි.

ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ දී දඹදෙණිය රාජධානි අවධියේ දී එහි රජකළ 11 විජයබාහු රජුගේ ගේ ඇමතියකු වූ දේවප්‍රතිරාජ නමැත්තෙක් ගම්පොළ සිට ශ්‍රී පාදය දක්වා පෙරහැරකින් සමන් දෙව්රුවක් රැගෙන ගිය පුවතක් නූතන දීප වංශයේ ඇත. එම දෙව්රුව සකස් කොට ගෙන යන ගමනේ දී ගම්පොළ කණාමැදිරි හොය මතින් අලි ඇතුන් යා හැකිවන පරිදි පාලමක් හැදූ බව ද පෙරහැර ඊ මතින් ගිය බව ද සදහන් වෙයි.

මේ සමයේ දී ම විසූ සාහිත්‍යධරයෙක් වූ මයුරපාද පරිවේණාධිපතිව වැඩ විසූ බුද්ධපුත්‍ර හිමියන් පූජාවලිය නම් වූ මහා ග්‍රන්ථය රචනා කිරීමෙන් පසු එය ඇතකු පිට තබා රාජකීය පෙරහැරින් රැගෙන ගිය බව ද කියයි.

ගම්පොළ රාජ්‍ය සමයේ දී එනම් ක්‍රිස්තු වර්ෂ 14 සියවසේ දී උඩරට ප්‍රදේශවල දේව ඇදහිල්ල පුළුල්වීම නිසා බිහි වූ දේවාල ගණනාවක පෙරහැර පැවැත්වීමේ ආරම්භයක් සිදු විය. එම පෙරහැරවලට අලි හා ඇතුන් පිට නැඟී රජු හා විවිධ නිලයන් දැරූ නිලමක්කාර ද්‍රවිඩ ජනයා සමග පෙරහැර පැවැත් වූ බව පෙනේ. දකුණු ඉන්දියානු රාජ පරම්පරා හා ඔවුන්ගේ අනුගාමිකයින් සමග තම බල පරාක්‍රමය ඉස්මතු කිරීමට මෙම පෙරහැර පවත්වන ලදී. මේ නිසා ඇම්බැක්ක වේගිරිය ලංකාතිලක ගඩලාදෙණිය වල්වාසගොඩ ගනේගොඩ හඟුරන්කෙත හා දොඩන්වල යන ස්ථානවල එසේ පෙරහැර ඇරඹී තිබේ.

15 වන සියවසේ දී කෝට්ටේ යුගයේ දී දෙමළ බලය තවත් ස්ථාපිත වූ අතර දෙමළ සමාජය විසින් අප රටට ගෙන එනු ලැබූ සංස්කෘතික අංග තවත් පුළුල් විය. ඒ අනුව සමාජයේ විවිධ උත්සවවලට අලි සහභාගිවන හැටි අපට දැකිය හැකි ය. එකළ රචිත ගුත්තිල කාව්‍යයයේ දී ගුත්තිල මූසිල වීණා වාදනය ඇසීමට ආ සතුන් අතර අලින් හා ඇතුන් නිසොල්මනේ වීණා නාදයට කන් දුන් බව සදහන් වෙයි.

මහනුවර රාජධානි සමයේ දී විශේෂයෙන් නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු සිංහල රාජ්‍යත්වයට පත් වූ දෙමළ වඩුග පරපුරේ නායක්කාර් රජවරු උඩරට දෙමළ සංස්කෘතිය ඉතා පුළුල් ලෙස ප්‍රචලිත කළහ. ඒ කාලයේ සිට දේව ඇදහිල්ල බෞද්ධ සංස්කෘතිය තුළට උරාගෙන සම්මිශ්‍රණය කළේය. එහි ප්‍රතිපලයක් ලෙස පෙරහැර පැවැත්වීමේ ක්‍රමය දළදා පෙරහැරට ඇතුළු කළේ දකුණු ඉන්දියානු සංස්කෘතියෙන් ඔප් නැංවෙන ආකාරයට ය. දළදා කරඩුව අලි ඇතුන් පිට රැගෙන යාමත් එහි අංගයක් බවට පත්විය. මේ නිසාම මහනුවර දළදා පෙරහැරේ අලි සම්බන්ධ කටයුතු කරන නිලධාරියෙක් ද එකළ පත් කළේ ය ඔහු ගජනායක නිලමේ නම් වෙයි. දෙමළ රාජකීය කාන්තාවන් පෙරහැරේ ඔසවාගෙන යන රන් දෝලිය දළදා පෙරහැරට අතුල් කළේ ඒ නිසා ය.

ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් ලංකාවේ දී පාලි බස ඉගෙන හෙළ අටුවා පාලියට පෙරළා ඉන් පසුව ලක්දිව තිබූ සියලු අටුවා පොත් ගොඩ ගසා ගිනි තැබූ බව මහාවංසය කියයි. එහිදී එම පුවත උපමා කරන්නේ ඇතුන් හත් තෙනෙකුගේ (7) උසට අටුවා පොත් ගොඩ ගසා තිබූ බවයි. මේ ආකාරයට උස පිළිබද මිනුම් සදහන් කිරීමට ද අලි උපමා කිරීමෙන් පෙනෙන්නේ මිනිස් ජීවිතයට ඒ තරමටම අලි සමීප වූ නිසාවෙනි.

eli3

ලංකාවේ විවිධ පාලන යුගවල රාජ්‍ය හා රජු විසින් සමාජයේ යුක්තිය පසිදලීමට පවත්වාගෙන ආ දඬුවම් දීමේ ක්‍රම වලදී ද අලි ඇතුන් භාවිත කර ඇත. එහිදී විවිධ අපරාධවලට ලක් වූවන් අලි ඇතුන් ලවා පාගා මරා දැමීම එක් දඬුවම් ක්‍රමයක් ද විය. රොබට් නොක්ස්ගේ දේශාටන වාර්තාවල ද එය සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ අලි ඇතුන් ලවා බර ඇදීම ද ප්‍රධාන කාර්යයක් විය. ගල් ගස් ලී කදන් එහා මෙහා කිරීම වැලි පස් ආදිය බඳුන්ගත කර කරපිට තබාගෙන යාමට අලි ඇතුන්ගේ සහාය ලබා ගත්තේ ය. තවද පැරණි වැව් කර්මාන්තයේ දී වැව් බැමි ඉදිකර එය නිසි පරිදි ශක්තිමත් කිරීමට අලින් ලවා පාගා තැලීම සිදු කරන ලදී. එකළ ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තය වූයේ ද වැව් කර්මාන්තය යි. ඒ නිසා අලින් ගේ සහාය අති විශාල එකක් විය.

අලි හීලෑ කිරීම නිසා ශ්‍රී ලංකාවේ අලින් සදහා භාවිත කරන අලි භාෂාවක් ගොඩ නැඟී තිබේ. අතියාගෙන් මිනිසුනට කරගත යුතු වූ කාර්යයන් පමණක් නොව අලියා ඇමතීමේ සිට සියලු සන්නිවේදනයන් කරන්නේ අලි බස උච්චාරණය කිරීමෙනි. එය මැනවින් දන්නේ අලි බලන්නන් (අලි පාලනය කරන පුද්ගලයන්) පමණි.

ශ්‍රී ලංකාවේ අලි පසුබිම් කරගත් ජන සාහිත්‍යයක් මෙන්ම ළමා සාහිත්‍යයක් ද සමාජය පුරා ව්‍යාප්ත ව ඇත. ජනසාහිත්‍යයේ විවිධ කල්පිත කතා බොහොමයක් ඇත. අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යාම, අලියා බටකොළ කෑම එවැනි කතා දෙකකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික මංගල්‍යයක් ලෙස සලකන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී පවත්වන ජාතික ක්‍රීඩාවලින් එකකි අලියාට ඇස් තැබීම. අදින ලද අලියෙකුගේ රූපයකට ඇස් තිබීම මෙහිදී කරනු ලබයි. සළුවකින් දෑස් බඳින ලද තරගකරුවන් එක් එක්කෙනා බැගින් ගොස් අලියාගේ රුවේ ඇස සටහන් කරයි. නිවැරදිව සටහන් කරන්නාට තෑග්ගක් හිමි වෙයි.

ළමා කවි හා ගීතවල දී නිරතුරුවම අලි පිළිබදව සදහන් වෙයි.

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

නූතන කාව්‍ය රචනයේ දී ද ඉතා ගීතවත් රිද්මයක් ඇති කවි රචනා කර තිබේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇත්ගාලේ දරුපෙම යනුවෙන් අලි හා ඇතින්නියන් පිළිබද දාරක ප්‍රේමය අළලා ලියු කවි පංතියක් තිබේ. එහි එක කවියකි මේ.

එක දරුවෙක් ඇති වුණොත් කැළේ අප
කාටත් කිරි එරිලා එනවා
වෙනස් කමක් නැහැ එක සෙනෙහසමයි
කාගෙත් දරුවොයි සැලකෙනවා

ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයට ද අලි ඇතුන් පිළිබද ව ඇතුළත් වී තිබේ. විසිවෙන් සියවසේ මැද භාගයේ දී ඇතකුට මුහුණ පෑමට සිදු වූ අනුවේදනීය සිදුවීමක් අළලා රචනා වූ ගීතයක කොටසකි මේ.

පනාමුරේ//
පනාමුරේ ඇත් රාජා

eli1

ක්‍රිස්තු පූර්ව 200 දී පමණ කාලිංග දේශයට ශ්‍රී ලංකාවෙන් අලි ඇතුන් රැගෙන ගිය පුවතක් පිළිබද ව ක්‍රිස්තු පූර්ව 175 දී ටොලමි වාර්තා කරයි. එම අලි ඇතුන් මාන්තෙයි තොටුපළින් (මන්නාරමෙන්) නැව් ගත කළ බව ද කියයි.

ලංකාව බටහිර යටත්විජිත රාජ්‍යක් බවට පත්වීමෙන් ඉක්බිතිව පෘතුගීසි ලංදේසි හා ඉංග්‍රීසි ජාතින් යටතේ අලි ඇතුන්ට විවිධ හිරිහැර සිදු වූ කාලයක් විය. විශේෂයෙන් ඉංග්‍රීසි පාලන සමයේ මේජර් තෝමස් රොජර් වෙඩි තබා අලි 1500ක් මරා දැමීමෙන් වාර්තාවක් තබා ඇත. ඔහු ලංකාවේ සිටි අවුරුදු හතරක කාලය තුළ දිනකට එක් අලියෙක් බැගින් වන සේ මරා ඇති බව කියයි. කැප්ටන් ගල්වේ හා මේජර් ස්කිනර් යන දෙදෙනා මේජර් තෝමස් රොජර්ගේ වාර්තාවේ සංබ්‍යාවෙන් අඩක් මරා දැමීමට සමත් වූ බවද කියයි.

ක්‍රිස්තු වර්ෂ 1796 වන විට එනම් ඉංග්‍රීසි ජාතිකයින් ලංකාවට පැමිණෙන විට අලි ඇතුන් 10000 දහදාහක ගහණයක් සිටි බව වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙයි. 20වෙනි සියවසේ අග වන විට එම සාබ්‍යාව 1600ත් 2000ත් අතර සංබ්‍යාවකට පහත බැස්සේ ය. 1973දි මැකේ විසින් කළ අධ්‍යයනයකට අනුව 1600ත් 2000 ත් අතර විය. 1993 දී වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රදේශ පහක් පාදක කරගෙන කළ සමීක්ෂණයකට අනුව අවම අලි සංබ්‍යාව 2000ක් විය. එම ප්‍රදේශ නම් වයඹ, මහවැලි ප්‍රදේශ, මධ්‍යම, නැගෙනහිර හා දකුණු යන ඒවා ය. ක්‍රිස්තු වර්ෂ 200 දී කරන ලද සම්පූර්ණ සමීක්ෂණයකට අනුව 3160ත් 4405ත් අතර සංබ්‍යාවක් රට පුරා ව්‍යාප්ත ව සිටින බව පෙන්වා දෙයි. එයින් 2000ත් 2870ත් අතර සංබ්‍යාවක් ආරක්ෂිත ප්‍රදේශවල සිටිති.

eli2

අලි ඇතුන්ගේ සාමාන්‍ය චර්යා හා පුරුදු අනුව ඔවුන් හැසිරෙන ප්‍රදේශවලට මිනිස් වාස සමීප වීමත් සමග අලි හා මිනිස්සු අතර ගැටුමක් වර්ධනය විය. අලින්ගේ ආහාර හා ජලය සපයා ගැනීම, ඔවුන්ගේ ජීවත්වීමේ පරිසරය, ගමන් බිමන් යන ප්‍රදේශ සීමා වීම, කැළෑ කුඩා වීම යනාදි කරුණු රැසක් මත අලි, මිනිස් වාසස්ථානවලට කඩා වැදීමට පටන් ගත්තෝය. විශේෂයෙන් 1950න් පසු ශ්‍රී ලංකාවේ නව ජනපද ව්‍යාප්ත වීම ඒ සදහා බෙහෙවින් බලපෑ කාරණයක් විය. ඒ නිසාම 1369ක් තරම් අලි සංබ්‍යාවක් 2000 වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ මිය ගොස් තිබිණි. උතුරු නැගෙනහිර පමණක් 526ක් මිය ගොස් තිබිණි. මෙසේ මිය යාමට ලක් වූ සිදුවීම්වලට හේතු අතර වෙඩිතබා මරා දැමීම්, විදුලි කම්බි දැමීම, වස විස දීමෙන්, බිම් පෝම්බවලට ගොදුරුවීමෙන්, අත්හැර දැමූ ළිං වලට වැටීමෙන්, මැණික් ගරා අත් හරින ලද පතල්වලට වැටීමෙන් හා දුම්රියට හැපීමෙන් මෙසේ මිය ගොස් තිබිණී.

මේ අතර අලි මිනිස් ගැටුම නිසා අලින්ගේ පහර දීම්වලින් මිය ගිය මිනිසුන්ගේ සංබ්‍යාව 1992 හා 2001 අතර කාලයේ 536කි. එයින් 400ක් පිරිමි අය ද 70ක් ගැහැණු අය ද 66ක් ළමයි ද වුහ. අලි මිනිස් ගැටුමට වැඩියෙන්ම ගොදුරුවන ප්‍රදේශ හැටියට හඳුනාගෙන ඇත්තේ වයඹ පළාතේ කොටවෙහෙර, කැලේගම, නවගත්තේගම,ගල්ගමුව, ගිරිබාව, කහල්ල , පල්ලේකැලේ, ගලේවෙල පිබිදුනුගම, ගල්කිරියාගම, කරුවලගස්වැව ගම්මානවලත්, වස්ගමුව ජාතික වනොද්‍යානයේ හීන් ගඟ ප්‍රදේශයෙත්, මහවැලි ප්‍රදේශයේ ඇලහැර, හබරණ, සීගිරිය, රිටිගල හා කලාවැව ප්‍රදේශවලත්, ඌව පළාතේ හල්දුම්මුල්ල උමා ඔය, ලුනුගම්වෙහෙර හා උඩවලවේ ප්‍රදේශවලත්, හම්බන්තොට බූන්දලත් ය.

අලි මිනිස් ගැටුම අවම කිරීමට විවිධ වැඩ සටහන් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් වැඩමුළු හා දැණුවත් කිරීම් ආදිය මහජනයා වෙනුවෙන් ද, අලින් සදහා අලිවෙඩි භාවිතය, ශබ්ද නැගීම මගින් පලවා හැරීම කරනු ලබයි. රජයේ නිලධාරින්, ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින්, අධ්‍යයන කාර්යයේ නිරත වන්නන්, ජීව විද්‍යාඥයින් හා සාමාන්‍ය මහජනතාව මේ සදහා දායක කරගනී.

අලි ඇතුන් සදහා ඔවුන් ගමන් ගන්නා සාම්ප්‍රදායික ගමන් මාර්ග හඳුනාගෙන ඒවා ඔවුන් සදහා ම වෙන් කිරිම ප්‍රමුබ කාර්යයක් ද වෙයි. අලින්ගේ ආදීතමයින් ගමන් කළ මාර්ගයේ ඉන්පසු පරම්පරා කිහිපයකට පසුව හෝ ඔවුන්ගේ නව පරම්පරා ගමන් කිරීමේ ජානමය පුරුද්දක් ඇති බව සත්ව වේදීන්ගේ මතය වෙයි. ශ්‍රී ලංකාවේ නව ජනාවාස ඉදිකිරීම නිසා බොහෝ තැන්වල අලින්ගේ ගමන් මාර්ග අවහිර වීම් සිදු වූ අතර ඒ හැම තැනකදීම අලි මිනිස් ගැටුම උග්‍ර විය. ඇලහැර ප්‍රදේශයේ රණවිරු නිවාස යෝජනා ක්‍රමයක් සදහා යෝජනා වූ දියබෙදුමට නුදුරු ස්ථානයක් අලින්ගේ ගමන් මාර්ගයක් බව අවුරුදු කිහිපයකට පෙර වනජවි දෙපාර්තමේන්තුව කියා සිටියත් නිවාස යෝජනා ක්‍රමයේ අවශ්‍යතාව ප්‍රමුබ වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ගිරිතලේ ඇලහැර මාර්ගයේත්, මින්නේරිය ජාතික වනෝද්‍යානය සිට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දක්වාත් අත්‍යවශ්‍ය අලින්ගේ ගමන් මාර්ග ඇත. කරුවලගස්වැව සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් අලින්ගේ ගමන් මාර්ග ඇත. ඒවා සුරක්ෂිත කරදීම අපගේ වගකීමක් වෙයි.

eli5

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයෙහිලා අලි ඇතුන් සුවිශේෂ වටිනාකමක් ඇති සත්ව විශේෂයකි. ඒ සංචාරක කර්මාන්තය ඇසුරු කරගෙන ය. වසරක් පාසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අති විශාල පිරිසක් අලි නැරඹීමට රට පුරා සැරිසරති. ඒ සදහා අප රට තුළ ජාතික වනෝද්‍යාන දහතුනක් හා අභය භූමි තුනක් ද ජාතික උරුමයක් ද ස්වාභාවික රක්ෂිතයක් ද වෙන් කර ඇත.

බූන්දල, මනම්පිටියේ ජලගැලුම් නිම්නය, ගල් ඔය, ලාහුගල, මාදුරු ඔය, මින්නේරි ගිරිතලේ, රුහුණ හෙවත් යාල, සෝමාවතිය, උඩවලවේ, වස්ගමුව, විල්පත්තු, යාල නැගෙනහිර හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන දහතුනත් (13) වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ හා මඩු පාර අභ්‍ය භූමි දෙකත් සිංහරාජ ජාතික උරුමයත් තිරිකෝනමඩු ස්වභාව රක්ෂිතයක් ඒ අතර වෙයි.

මේ අතර හබරණ අලි නැරඹීමේ සංචාර විශාල ආදායම් ලබාදෙන සංචාරක ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඒ සදහා හීදෑ අලින්ගේ කරපිට බඳින ලද ආසනයක් මත සංචාරකයින් නැඟී කැළෑවට වැදී අලි නැරඹීම එයයි. වර්තමානයේ එය විදේශීය පමණක් නොව දේශීය සංචාරකයින් අතර ද ජනප්‍රිය වී තිබේ.

තවද ශ්‍රී ලංකාවේ විවිධ අතුරු ආබාධවලට මුහුණ දෙන අලි ඇතුන් රැක බලාගැනීම සදහා විශේෂ වැපිළිවෙළක් යොදා ඇත. ඒ අනුව පින්නවල අලි අනාථාගාරය හුදෙකලා වන සතුන් සදහා වෙන් කරන ලද්දකි. එය ද සංචාරකයින් සදහා විවෘතව ඇති අතර එය සංවර්ධණ කාර්යයෙහිලා මහත් දායකත්වයක් ලබාදෙයි. මේ අතර ආබාධවලට මුහුණ දෙන හා හුදෙකලා වන අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළිත් ස්වාභාවික පරිසරයට හුරු කිරීමට උඩවලවේ ඇත් අතුරු සෙවනක් පිහිටුවා තිබේ. මෙය ද සංචාරක කර්මාන්තයේ දී සුවිශේෂ වැදගත් කමක් අත්කරගෙන ඇත.

ඇතුන්ගෙන් ලබාගන්නා දත් ශ්‍රී ලංකාවේ පුරාණයේ සිටම ප්‍රකට වෙළදාමකි. පසුව ඒවා විවිධ කැටයමින් යුක්තව ආභරණ, පළදනා, මංජුසා, සමරු ඵලක, බුදු පිළීම ආදි කලා නිර්මාණවලට යොදාගෙන තිබේ. එසේ කරන ලද කලා නිර්මාණවලට සුවිශේෂ වටිනාකමක් ඇතිව ජාත්‍යන්තර වෙළදපොළක් ද හිමි ව තිබේ.

ඇතැම් විට ඇතුන්ගේ දළ තුළ ස්වාභාවිකව ඇතිවෙන මුතු විශේෂයක් ඇත. ඒවා හඳුන්වන්නේ ගජමුතු නමිනි. ඒවායේ ආර්ථික වටිනාකම තක්සේරු කළ නොහැකි තරම් ය. ගජමුතු සහිත ඇත් දතක් ඇති ඇතකු එය මහත් ආදරයෙන් ආරක්ෂා කරන බව ද කියති.

අලි හීලෑ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් හා ශ්‍රී ලංකාව තුළ පිළිගත් සත්ව අයිතිවාසිකම් පමණක් නොව අණපනත්වලට යටත් විය යුතු ය. අතීතයේ දී මේවා එතරම් සැළකිල්ලකට ලක් නොවූවත් වර්තමානයේ දී අනිවාර්ය වී තිබේ. ශ්‍රී ලංකාව නූතන ලෝකය සමග ඉදිරියට යා යුතු රටක් වන නිසා අලින්ට හිමි විය යුතු වනයේ ජීවිතය උදුරා ගැනීම කිසිසේත් නොකළයුතුවා මෙන්ම අනාථ වූ පමණින් අලින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ද නොකළ යුතු ය. ආගමික රූපයට මුවා වී යළිත් දකුණූ ඉන්දීයාවෙන් ආනයනය කළ වැඩවසම් ක්‍රමයකට ආපසු යායුතු නැත. රජයක් සතුන් වෙනුවෙන් කරන කැප කිරීම අව තක්සේරුවට ලක් නොකිරීමටත් රජය අපහසුතාවට පත් නොකිරීමටත් මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු ය. උතුම් වූ බුදු දහමේ බුදුන්ට පෙරහැර කිරීමට අලි හෝ වෙනත් කුමන සතෙකු හෝ යොදා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා නැත. කිතු දහමේ හෝ හින්දු දහමේ ද එවැන්නක් නැත. මිනිසුන්ගේ කුහක වත පිළිබිඹු කිරීමට අහිංසක අලි යොදා නොගෙන ඔවුනට සුපුරුදු කැළේ ජීවත් වීමටත් අනාථ වු අය නම් ඊට උපකාර කිරීමත් හැර වෙන කළ යුතු යමක් නැති බව සත්ව අයිතිවාසිකම් විසින් සනාථ කරනු ඇත.

විමල් රණතුංග (M.Phil) විසින් http://www.news.lk ට ලියන ලද ලිපියකි.

http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=13710&Itemid=52

Advertisements